DSLR මිලට ගැනීම සඳහා මාර්ගෝපදේශනයක් – තෝරා ගැනීම – 1 කොටස

<<< මුල් කොටසට 

මුල් ලිපියෙන් කිව්වනෙ කැමරා ගැන මූලිකම දේවල් ටිකක්. මේ ලිපියෙන් බලමු, කැමරාව තෝරා ගන්නකොට බලන්න ඕනෙ දේවල් ගැන.

සංවේදකයේ විශාලත්වය (Sensor Size)

විවිධ DSLR කැමරා වල විවිධ විශාලත්වයෙන් යුත් සංවේදක තිබෙනවා. මුල් කොටසේ කිව්ව focal-length-multiplier කියන එකෙන් කියන්නෙ සංවේදකය, 35mm ෆිල්ම් එකකට සාපේක්ෂව කොතරම් ප්‍රමාණයක් විශාලද/කුඩාද කියන එකයි. Full Frame සංවේදකයක් 35mm ප්‍රමාණයටම සමාන වෙනවා. ඒ කියන්නෙ මේ FLM අගය ඒවායේ 1 වෙනවා. සාමාන්‍යයෙන් බහුලම FLM අගයන් වෙන්නෙ 1.5, 1.6, 2.  දැන් බලමු මේ සංවේදකය සම්බන්ධ වැදගත් දේවල් ටිකක්.

සංවේදකය විශාල වෙන්න විශාල වෙන්න, ඒ කැමරාවෙන් ලබාදෙන ඡායාරූප වල තත්වය ඉහළ යන අතර, noise එකද අඩු වෙනවා. එකම විභේදනය ලබාදෙන ඊට වඩා කුඩා සංවේදකයකින් දෙන Dynamic Range එකට වඩා විශාල සංවේදකයකින් ලබා දෙන Dynamic Range එක වැඩියි.

සංවේදකය විශාල වන විට, එම කැමරාවට අවශ්‍ය කාචයේ ප්‍රමාණයත් විශාල වන නිසා, කාචය සම්බන්ධව වෙන්න පුළුවන් ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. (මේ කියන්නෙ lens defects ගැන)

විශාල සංවේදක, ස්ථාවර ඇපචර අගයකදී ඉතා අඩු ගැඹුරක් (Depth Of Field) පෙන්වනවා.

කාචයක Angle of View කියන එක සංවේදකයේ විශාලත්වයට සමානුපාතික වෙනවා. එම කාචයේ Effective Focal Length කියන එක කාචයේ Actual Focal Length එකේ හා FLM හි ගුණිතයට සමාන වෙනවා.

කාච නිෂ්පාදනය කෙරෙන්නෙ FLM අගය අවම වන විදිහටයි. ඉතින් Full Frame කාචයක් හදල තියෙන්නෙ FLM අගය 1 වෙන්න. ඉතින් ඒව කුඩා සංවේදකයක් සහිත කැමරා සමඟත් භාවිතා කළ හැකියි. (FLM අගය 1.5 වගේ වෙන ඒවත් එක්ක.) නමුත් මේකෙ අනිත් පැත්ත සත්‍ය නෑ. 

රූපය ස්ථාවර කිරීම සහ සෙලවීම් නැති කිරීම (Stabilization and Anti-Shake)

 

ශටර වේගය අඩු අවස්ථා වල සහ දිගු නාභි දුරක් භාවිතා වන අවස්ථා වල සිදු වන කැමරාවේ සිදුවන සෙලවීම ඡායාරූපයට එකතු වීම වැළැක්වීමට ක්‍රම දෙකක් භාවිතා කෙරෙනවා. 

එකක් තමයි කැමරාවට (camera body) මේ stabilization එකතු කිරීම. මේ ක්‍රමේ මුලින්ම පටන් ගත්තෙ Konica-Minolta කට්ටියයි. කරන්නෙ, කැමරාවේ සෙලවීම් වලට විරුද්ධ අතට සංවේදකය චලනය කරවීම මගින් එම චලනයන් ශුන්‍ය කිරීමයි. මේක නම් කෙරුනෙ anti-shake කියලයි. මේ තාක්ෂණය මිලට ගත්තු සෝනි සමාගම, මේක Super Steady Shot යන නමින් නම් කළා. Pentax සමාගම භාවිතා කරන මේ තාක්ෂණයට Shake-Reduction කියල කියනව. Olympus කියන්නෙ IS (Image Stabilization) කියල. අනෙකුත් නිෂ්පාදකයින් මෙම ක්‍රමය කැමරා බඳට නැතිව කාචයට ඇතුළු කළා. ඒකෙදි කරන්නෙ කැමරාවෙ කාච එහා මෙහා කිරීම මගින් මේ චලනයන් නැති කිරීම. මේකට කියන්නෙ Optical Stabilization කියල. Canon මේක Image Stabilization (IS) කියල නම් කරනකොට Nikon මේකට කිව්වෙ Vibration Reduction (VR) කියලයි.

Anti-Shake and Optical-Stabilization කියන දෙකම සමානවම වගේ සාර්ථකයි කියල කියන්න පුළුවන්. මොකද දෙකෙන්ම කැමරාව අතේ තබාගෙන භාවිතා කිරීමේදී මට්ටම් කිහිපයකින් ඒ හැකියාව ඉහළ නංවනවා. වෙනත් වචන වලින් කිව්වොත් stabilization රහිතව කැමරාව අතේ තබාගෙන ඡායාරූප ගන්නකොට යොදාගන්න පුළුවන් shutter speed එකට වඩා 4 ගුණයක, 8 ගුණයකින් විතර අඩු shutter speed එකක් එක්ක වැඩ කරන්න පුළුවන් stabilization තියෙනකොට.

මේ stabilization technologies 2 තවත් නම් දෙකකින් හඳුන්වනවා. 

  1. Lens Shift (කාචය තුළ කොටස් චලනය කරමින් stabilize කිරීම)
  2. Sensor Shift (කැමරාවේ සංවේදකය චලනය කරමින් stabilize කිරීම)

මේ දෙකේ වෙනස්කම් කිව්වොත් මෙහෙමයි.

  1. Lens Shift Stabilization එක කෙරෙන්නෙ කාචය තුළ නිසා ඔබට මේක අවශ්‍ය නම්, ගන්න හැම කාචයක්ම මේ තාක්ෂණය සහිත කාචයක් විය යුතුයි.
  2. Sensor Shift Stabilization එක කෙරෙන්නෙ කැමරාවේ බද තුළ නිසා, කොහොම කාචයක් ගත්තත් ගැටළුවක් නෑ. මොකද Stabilization එක කෙරෙන්නෙ කැමරාව තුළදි නිසා.

 ඊලඟ කොටසට (මෙම ලිපියේ දෙවනි කොටස)>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *