DSLR මිලට ගැනීම සඳහා මාර්ගෝපදේශනයක් – මූලික දේ

හැඳින්වීම

DSLR කැමරාවක් කියන්නෙ Point and Shoot කැමරාවකට වඩා ලොකු වෙනස්කම් ප්‍රමාණයක් තිබෙන කැමරාවක්. ප්‍රධානම දේවල් තමයි, ඡායාරූප වල තිබෙන noise ඉතාම අවම වීම, ඉහළ සංවේදීතාවය, කාච මාරු කිරීමට තිබෙන හැකියාව, reflex (පරාවර්තන) viewfinder එකක් පැවතීම, වේගවත් ක්‍රියාකාරිත්වය වගේ දේවල්. reflex viewfinder එක කියන එක නම් SLR වලම පමණක් තිබෙන දෙයක්. මෙම කැමරා වර්ග දෙක සහ ඒවායේ වෙනස්කම් අපි වෙනමම කතා කරමු.

 DSLR කැමරා වල තිබෙන, කාච මාරු කිරීමේ හැකියාව නිසා ඡායාරූප ශිල්පියාට ඉතාම හොඳ සුනම්‍යතාවයක් ලැබෙනවා. නමුත් ඉතින් කැමරාවට අවශ්‍ය කරන කාචය හෝ කාච සමූහය තෝරා ගැනීම, කැමරාවක් තෝරාගන්නවාට වඩා අමාරු වෙන්න ඉඩ තිබෙනවා. බොහොමයක් Auto Focus Lens හා පරණ Manual focus film SLR lens උනත් හුඟක් DSLR සමඟ භාවිත කරන්නට පුළුවන්. නමුත් පෙන්වන කෝණයන් වෙනස් වෙන්නට ඉඩ තිබෙනවා.

තවත් සඳහන් කළ යුතු දෙයක් තමයි, දැන් reflex viewfinder එකක් රහිත නමුත් කාච මාරු කළ හැකි ඩිජිටල් කැමරා වර්ගත් තිබෙනවා. මේවායේදී පිටුපසින් ඇති LCD තිරය තමයි ඡායාරූපය ගැනීමේදී භාවිතා වන්නේ. සමහරක් කැමරා වල Electronic viewfinder එකක් තිබෙනවා. එය කාචයට පෙනෙන දේම පෙන්වීමට හැකි ලෙස සකසල තිබෙනව. මේ කැමරා DSLR වලට වඩා කුඩා ලෙස නිපදවා තිබෙන අතර, ඒවායේ ක්‍රියාකාරිත්වය හා වේගය නම් DSLR තරමට නම් නෑ. මේවා, Single Lens Display හා Interchangeable Lens Camera යන නම් වලින් හැඳින්වෙනවා.

DSLR ගැන ඔබ දැනගතයුතු දේවල් 10ක්

  1. භාවිත කරන අවස්ථාවේදී වඩාත්ම කාර්යක්ෂම වෙන්නෙ DSLR තමයි. අලුත් ඒවායේ තිබෙන Live View කියන එකෙන් පුළුවන් ඡායාරූපය ගන්නකොට මොකද්ද කියල ස්ක්‍රීන් එකෙන්ම බලාගන්න. හැබැයි ඒකෙ තියෙන පාඩුව තමයි auto-focusing වීමට ගත වන කාලය වැඩි වීම හා, ඡායාරූපයේ වදින දේ 100%ක්ම නොපෙන්වීම. (නමුත් දැන් බොහොමයක් කැමරා වල 100%ක්ම හෝ 95%ක් වගේ ප්‍රමාණය්ක්වත් Live view එක මගින් පෙන්වනවා.)
  2. DSLR එකක view finder එක බලන්නෙත් කාචය හරහාමයි. ඉතින් ඡායාරූපයට වදින දේම තමයි ඔබට ඉන් පෙනෙන්නෙ, ඉතින් නාභිගත කිරීම හා රාමුව හරි හැටි සකසා ගැනීම් ඉතාම පහසුයි. හැබැයි ඒකෙන් exposure එක එහෙම නම් නිවැරදිව හිතාගන්නට අපහසුයි.
  3. DSLR එකක optical zoom එක වෙනස් වෙන්නෙ ඒකත් එක්ක භාවිතා කරන කාචය අනුවයි. කැමරාව ගැන විස්තර කරනකොට optical zoom ගැන කියන්න බෑ. zoom කරන්න බැරි කාචයන් හඳුන්වන්නේ prime lenses කියලයි.
  4. DSLR එකක Focal Length Multiplier කියන එක, ඒකෙ සෙන්සරයේ ප්‍රමාණයත් එක්ක වෙනස් වෙන දෙයක්. ලෙන්ස් එකෙ දර්ශන කෝණය ගණනය කෙරෙන්නෙ, ඒ කාචය සවි කරල තිබෙන කැමරාවේ Focal Length Multiplier එක භාවිත කරලයි.
  5. SLR කැමරාවට කාචය සවිකරන සම්බන්ධකයට කියන්නෙ mount එක කියල. එකම ආකාරයේ mount එකක් තිබෙන කැමරා කා කාච පමණයි එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන්.
  6. SLR කැමරා වලදී සූම් කිරීම, නාභිගත කිරීම අපිටම කළ හැකියි.. සමහරක් අවස්ථා වලදී කැමරාව මගින් කරන නාභිගත කිරීම වඩා වේගවත් හා සාර්ථක වන අතර, සමහරක් අවස්ථා වලදී අපිම නාභිගත කිරීම වඩා නිවැරදි වෙනවා.
  7. සෑම DSLR කැමරාවකම සියළුම දේවල් අපිට අතින්ම පාලනය, වෙනස් කිරීම කරන්න පුළුවන්. manually නභිගත කිරීම, white balance අවශ්‍ය පරිදි සැකසීම, ඉහළ ISO අගයන් තිබීම, පිටතින් සැණෙළියක් සවිකළ හැකි hot shoe එකක් පැවතීම, RAW වර්ගයේ ඉමේජයන් ආකාරයට ඡායාරූප ලබා ගත හැකි වීම, මේ කැමරා වල විශේෂත්වයන්.
  8. කැමරාවට සවි කර ඇති කාචයේ හැකියාව අනුව ලබා ගත හැකි aperture අගයන් සීමා වෙනවා, ගැළපෙන shutter වේගයන් කැමරාවෙන් වෙනස් කළ හැකියි හා ඒ අගයන්ද කැමරාව අනුව වෙනස් වෙනවා.
  9. DSLR කැමරා වලට විඩීයෝ පටිගත කිරීමේ හැකියාවත් දැන් ලබල දීල තිබෙනව. හැකියාවන් දියුණු වූවත් කිහිපයකට පමණයි, පටිගත කරන අතරතුර  එක දිගට නාභිගත කිරීම කරන්න පුළුවන්.
  10. DSLR කැමරා වල Battery life එක, බොහොමයක් fixed lens camera වලට වඩා නම් වැඩියි. (live view භාවිතා කරන්නේ නැති නම්). ප්‍රධානම හේතුව වෙන්නෙ LCD තිරය විශාල විදුලියක් භාවිත කිරීම හා එය ක්‍රියාත්මකව පවතිනතාක් සෙන්සරය හා ඇතුළත පරිපථ ක්‍රියාකාරිත්වයේ පැවතීමයි.

 DSLR භාවිතයේ වාසි

තෝරා ගන්නා කාචය අනුව වෙනස් වුනත් DSLR කැමරා වලින් ලබාදෙන ඡායාරූප වල තත්වය වෙනත් fixed lens digital camera එකකින් ලබාදෙන ඡායාරූපයකට වඩා සැමවිටම වගේ ඉහළින් තිබෙනවා. ඡායාරූපයේ අඩු noise එකකුත්, වැඩි තොරතුරු ප්‍රමාණයකුත්, ඉහළ ISO අගයනුත් එක්ක, DSLR එකක් fixed focus කැමරාවකට වඩා ඉදිරියෙන් සිටිනවා. DSLR එකකට වඩා වැඩි වර්ණ පරාසයක් අල්ලා ගැනීමෙ හැකියාව තිබෙනව (High Dynamic Range). එසේ වෙනත් කැමරා දෙවර්ගයම, වර්ණ, white balance හා exposure යන දේවල් වලින් නම් සැම විටම වගේ සමානව සිටිනවා.

ක්‍රියාකාරිත්වය අතින් DSLR කැමරා වල තිබෙන වාසියක් තමයි වේගය. Fixed lens camera වලට වඩා මේවායේ නාභිගත කිරීමේ වේගය හා ඡායාරූපගත කිරීමේ වේගය වැඩියි. වෙනත් දේවල් පවා වේගවත්. ඡායාරූපයක් ගෙන ඊලඟ ඡායාරූපය ගැනීමට සුදානම් වීමට ගත වන කාලය, කැමරාව ඔන් වීමට ගත වන කාලය වගේ දේවලුත්.

චලනය වන වස්තූන් ඡායාරූපගත කිරීමේදී, නාභිගත කිරීමේ වේගය හා ඡායාරූපය ගැනීමේ වේගය ඉතාම වැදගත් සාධකයන් බවට පත් වෙනවා. Fixed lens කැමරාවකට සාපේක්ෂව DSLR කැමරාවකට, වේගවත් නාභිගත කිරීමේ හැකියාවක් තිබෙනවා. DSLR කැමරා වල ඉහළ විභේදනයකින් යුතු ඡායාරූපයක් ගැනීමේදී පවා ඉතා ඉක්මනින් ඡායාරූපය ගැනීමටත්, ඊලඟ ඡායාරූපය ගැනීමට කැමරාව සකසා ගැනීමටත් හැකියාවක් තිබෙනවා. (නමුත් මතක පතේ වේගය මත මෙය වෙනස් වෙනවා.) හැබැයි දැන් නම් CMOS තාක්ෂණය භාවිත කරන ඉතා වේගවත් fixed lens කැමරා පවා තිබෙනවා. Action Photography හා Fashion Photography වලදී Burst mode නැතිනම් continuous mode භාවිත කර යුතු වෙනවා. මොකද කිව්වොත් අවශ්‍යම අවස්ථාව ඡායාරූපගත කරගැනීමට. එය කොයි මොහොතේ එයිද කියා දන්නේ නැති නිසා. DSLR කැමරා වේගවත්ව ඡායාරූපය ගන්නවා පමණක්ම නොවෙයි, එය එක ශොට් එකකදී එක දිගටම ඡායරූප රැසක් කෙටි කාල පරාසයන් තුළදී ඡායාරූපගත කරනවා. මේ හරහා අවශ්‍ය කරන මොහොතම ඡායාරූපයට නැඟීමේ හැකියාව වැඩි වෙනවා.

DSLR භාවිතයේ අවාසි

DSLR කැමරා වලත් යම් යම් අවාසි තිබෙනවා. ප්‍රධානම අවාසි දෙකක් තමයි, මිල හා සෙන්සරය මත බැඳෙන දුහුවිල්ල. මිල අඩුම DSLR කැමරාවටත් ලෙන්ස් එකක් එකතු කළාම, ඒකත් සියළුම fixed lens කැමරා වල මිලට වඩා ඉහළ වෙනවා.

සෙන්සරය මත බැඳෙන දුහුවිල්ල එතනට එන්නෙ කාචය මාරු කරන අවස්ථා වලදියි. මේක අවම කරගන්න කරන්න පුළුවන් එක දෙයක් තමයි, හැම අවස්ථාවටම භාවිතා කරන්න පුළුවන් එක් කාචයක් අරගෙන ඒක සැමවිටම කැමරාවට සම්බන්ධ කරල තැබීම. දැන් දැන් එන DSLR වල තාක්ෂණයක් තිබෙනවා මෙම දුහුවිල්ල සෙන්සරය සෙලවීම මගින් ඉවත් කිරීමට. නමුත් ඒකෙන් ප්‍රශ්නය අඩු උනාට ඒක විසඳුමක් නෙමෙයි.

තවත් තිබෙන පොඩි පොඩි අවාසි ටිකක් තමයි, live view වලදි කළ හැකි දේ අඩු වීම, ශටරයේ ශබ්දය, වැඩි බරකින් යුක්ත වීම. ඡායාරූපය කොහොම නිරාවරණය වෙයිද යන්න, කිසිම කෙනෙක්ට හරියටම කියන්න බෑ, ඒක අත්දැකීම් එක්කම එකතු වෙන හැකියාවක්. ශටරයේ ශබ්දය සමහරක් අවස්ථා වල කරදරයක් වෙන්න ඉඩ තිබෙනව. උදා: පංසලක් වැනි නිශ්ශබ්ද පරිසරයකදී. අවසානව, කැමරාවේ විශාලත්වය කියන එක අමතක කරන්න පුළුවන් සාධකයක් නෙමෙයි. සාමාන්‍ය රීතියක් තමයි, “කැමරාව ලොකු වෙන්න ලොකු වෙන්න, ඔබ ගන්නා ඡායාරූප ප්‍රමාණයත් අඩු වෙනවා” කියන එක.

දෙවන කොටසට (තව දින කිහිපයකින්) >>

16 thoughts on “DSLR මිලට ගැනීම සඳහා මාර්ගෝපදේශනයක් – මූලික දේ

  • June 20, 2012 at 7:11 pm
    Permalink

    Nice Post… Keep it up… DSLR Cam eke shutter sound eka off karanna berida apita?

    Reply
    • June 20, 2012 at 7:16 pm
      Permalink

      මේ කියන්නෙ ශටරයෙන් එන යාන්ත්‍රික හඬ ගැන. ඒක නැති කරන්න කිසිම විදිහකින් බෑනෙ. ඒක එන්නෙ නැති වෙන්න ඉතින් ශටර් එක ඇරෙන්නෙ වැහෙන්නෙ නැතිව තියෙන්න ඕනෙ. 🙂

      Reply
  • June 21, 2012 at 11:26 am
    Permalink

    ගොඩාාාාාාාක් වැදගත් ලිපි ‍පළක්_‍මේකෙ 2 කොසත් ඉක්මනට දාන්න_සුභ පතනවා මේ වැඩේ දිගටම කරගෙන යන්න_ 😀

    Reply
  • June 22, 2012 at 5:44 pm
    Permalink

    නියම පොස්ට් එකක්.ඉතුරු කොටසත් ඉක්මනට දාන්න.

    Reply
  • June 22, 2012 at 8:02 pm
    Permalink

    ගොඩක් වටිනවා…!!! (අලුතෙන් එකක් ගන්න කෙනක්ට වැදගත් දේවල් ඊ ළග කොටසට දන්නා )

    Reply
  • June 23, 2012 at 6:35 pm
    Permalink

    “reflex viewfinder එක කියන එක නම් DSLR වලම පමණක් තිබෙන දෙයක්” මේක සංශෝදනය වෙන්න ඕන…………………
    reflex viewfinder එක කියන එක නම් SLR වලම පමණක් තිබෙන දෙයක් කියලා………..

    DSLR කියන්නේ SLR වල අනුප්‍රාප්තිකයෙක්. තවමත් ලෝකේ වෘතීය ඡායාරූපකරණයේදී ෆිල්ම් SLR (විශේෂයෙන්ම මීඩියම් ෆෝමැට් සහ ලාර්ජ් ෆෝමැට්) අඩුවක් නැතිව පාවිච්චි වෙනවා.

    Reply
    • June 23, 2012 at 8:47 pm
      Permalink

      හරි ඒක ඔන්න හැදුව, වරද පෙන්නුවට ස්තුතියි පුබුදු. 🙂

      Reply
  • June 23, 2012 at 6:50 pm
    Permalink

    Live View ප්‍රධාන ප්‍රශ්නේ ෂටර් ඩිලේ එක ඉතා අදික වීම සහ ෂටර් ආයු කාලය දෙගුනයකින් පහත හෙලීම…………………

    DSLR වීඩියෝ කරනයේදී රෝලර් ෂටර් ගැටලුව නිරාකරනය කරන්න කිසිම කැමරා නිෂ්පාදකයෙක් සමත් වෙලා නෑ. නමුත් දැනට ඒ ගැටලුව ඇතත් කැනන් සමාගම ඩිජිටල් සිනමා (4k Video- 5184 x 3456, 24fps) තත්වයේ කැමරාවක් (Canon 1D C) නිපදවලා තියෙනවා.
    දැනට වීඩි‍යෝ රෙකෝඩින් කරන අතරතුර සාර්ථක ඔටෝ ෆෝකසින් සිස්ටම් එකක් තියෙන්නේ සෝනි කැමරා වල පමනයි. (නමුත් වෘතීය ශිල්පීන් සැමවිටම මැනුවල් ෆෝකසින් පාවිච්චි කරනවා)

    DSLR වල ප්‍රධාන අවාසිය පින්තූරය ගන්න මොහොතේදී රූප රාමුව නොපේනී යාමයි.

    Reply
  • July 7, 2012 at 7:37 am
    Permalink

    ඊලග ලිපියෙන්…
    1.අලුතින් DSLR කැමරාවක් මිලදී ගැනීමේ දී සැලකිය යුතු කරුනු…
    2.DSLR වල ලන්කාවෙ පවතින මිලගන්නන් හා මිලදි ගත හැකි තැන්.
    ගැන කියලා දෙන්න…

    Reply
    • July 7, 2012 at 1:59 pm
      Permalink

      ඉදිරි ලිපි වලද ඔය ප්‍රදේශත් ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මිල ගණන් ගැන කතා කරන එක නම් එතරම්ම සාධාරණ නෑ කියලයි හිතෙන්නෙ. බලමු. 🙂

      Reply
      • July 10, 2012 at 7:12 am
        Permalink

        නමුත් චායාරූපකරනයේ නවකයින්ට ගොඩාක් වැදගත් වෙයි ඒ පිළිබදවත් දැනුවත් කලොත්..

        Reply
  • September 9, 2012 at 11:41 pm
    Permalink

    නියමයි… 🙂

    Reply
  • August 21, 2013 at 1:09 pm
    Permalink

    ඇත්තටම ගොඩක් හොද පොස්ට් එකක් සරලව කියලා දීලා තියෙනවා ගොඩක් ස්තුතියි.

    Reply
  • February 13, 2014 at 12:03 pm
    Permalink

    niyamai ayya thank so much

    Reply
  • January 5, 2015 at 12:43 pm
    Permalink

    නියමයි. වැදගත් පෝස්ට් එකක්. ගොඩක් දේවල් ඉගෙනගත්ත.
    එත් තවම නොදන්න ඒක දෙයක් තියෙනවා.
    CANON EF 24-70mm F4L ISUSM
    CANON EF 24-70mm F2.8L USM
    මේකේ මං දන්න දේකට තියෙන්නෙ Canon, USM කියන වචන දෙක විතරයි. කව්රුහරි කියල දෙනවද අනිත් දේවල් වලින් මොනවද අදහස් වෙන්නෙ?
    එතකොට IUSM කියන්නෙ මොකද්ද කියලත් කියන්න ..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *