පුද්ගල ඡායාරූප ගැනීම – 1

පසුගිය ලිපියෙන් කියපු විදිහට ඔන්න මුලින්ම අපි කතා කරමු, පුද්ගල ඡායාරූප ගන්නා හැටි. මම මේ ලිපි වල අන්තර්ගතය කරුණු වශයෙන් තමා ලියන්න හිතාගෙන ඉන්නෙ. (ඡේද වශයෙන් නැතුව)

පුළුවන් තරම් උත්සාහ කරන්න ඒ පුද්ගලයාට පහසු තැනක ඡායාරූපය ගන්න. ඒ කිව්වෙ ඒ පුද්ගලයා කැමති තැනකදී, ඔහුට අපහසුවක් නොගෙනෙන තැනකදී. ඔහු/ඇය සමඟ කතා බහ කරමින් තිබෙන අපහසුතාත් මග හරවා දමන්න.

හොඳ පුද්ගල ඡායාරූපයකට, Rule of Third, වස්තුවට ආසන්න වීම, වගේ දේවල් වැදගත් වෙනවා. පුද්ගලයාගේ ඇස් අර රේඛා කැපෙන තැන් වල (හෝ Golden Points වල) තබන්න. ඒ එක්කම පසුබිමින් වෙන්න පුළුවන් කරදරත් මග හරවන්න. දැන් සෑම ඩිජිටල් කැමරාවකම වගේ Potrait Mode එකක් තියෙනව, ඒකෙන් පසුබිම බොඳ කරල දාල පුද්ගලයාට පමණක් හොඳින් නාභිගත කරනව. එනිසා ඒක භාවිත කරන්න අමතක කරන්නෙපා.

සෘජුවම ඇස ගැටෙන ලෙස (eye contact) ඡායාරූප ගන්න. ඒකෙන් ඉතාම කිට්ටු බවක් හා බැඳීමක් ඡායාරූපයට එකතු කරනවා. නැතිනම් පුද්ගලයා ඡායාරූපයෙන් එපිට බලා ඉන්නකොට ඒකෙන් ඡායාරූපයට අත්භූත බවක් එකතු කරනවා. (ඕනෙ නම් ඔබට පුළුවන්, ඔහු/ඇය බලා සිටින දිශාව දෙසට ඔබගේ ඡායාරූපයේ රාමුව විශාල කරන්න)

ඡායාරූපයට ලක් වෙන පුද්ගලයාගේ පෞරුෂත්වය, විශේෂ ලක්ෂණ, ස්වභාවය විදහා දැක්වෙන ලෙස ඡායාරූපය ලබාගන්න උත්සාහ කරන්න. ඔබ උත්සාහ කළ යුතුයි ඡායාරූපය තුළින් කතාවක් ප්‍රකාශ කිරීමට, කියල දීමට.

එම පුද්ගලයා ඡයාරූපයට පෙනී සිටීමට සූදානම් වෙමින් සිටිනවා නම්, සුදානම් වෙන අතරේ ඔහුගේ/ඇයගේ අවධානය නොමැති අවස්ථාවේ ඡායාරූප කිහිපයක් ගන්න. ඒවයෙනුත් යම් දෙයක් ගන්න තියේවි. නැතිනම් ඔබ නම් ඔහු/ඇයව සූදානම් කරන්නේ, ඔවුනට කියන්න පොඩ්ඩක් ඇලයට ඉන්න කියල, උරහිස් දෙක පොඩ්ඩක් හැඩ කරල, කැමරාව දෙසට ටිකක් බරවෙලා.

potrait.JPG

විවිධාකාරයේ ඡායාරූප කිහිපයක් ගන්න, හුඟක් ආසන්න කරල, ඇඟෙන් කොටසක්, මුළු ඇඟම අසුවන ලෙස. තේරීම් කිහිපයක් කළ හැකි ලෙස ඡායාරූප ගන්න.
දහවල් කාලයේ ඡායාරූප ගන්නකොට, සූර්යයාලෝකයට අංශක 45ක ඇලයකට ඉඳල ඡායාරූප ගන්න. අහසේ වළාකුළු සහිත දින වල තියෙන්නෙ සෞම්ය ආලෝකයක්. ඉර බහින්න පොඩ්ඩකට ඉස්සෙල්ල ආලෝකයේ තියෙන්නෙ උණුසුම් නමුත් සෞම්ය ස්වභාවයක්. මහ දවල් ඉර එළිය නම් කොහොම හරි වළක්වගන්න, ඒ ආලෝකය යටතේ ඡායාරූප ගන්නකොට ඉන්න කට්ටිය ඇස් පුංචි කරගෙන, වපර කරගෙන ඉදීවි. ඒ මදිවට තද හෙවණැළි මුහුණු වලට වැටිල තියේවි.
මේ වගේ වෙලාවක ඡායාරූපය ගන්නම ඕනෙ නම් Fill Flash එකක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා, තව පරාවර්තක හා විසරක භාවිතයත් මේ වෙලාවට හුඟක් වටිනව. ඔයා manual mode එකේ නම් වැඩ කරන්නෙ, white balancing හරහාත් ඒ සෙවණැළි ඉවත් කරගන්න පුළුවන් වෙයි.
ඉතිරි කොටස සදහා ඊළඟ ලිපිය කියවන්න.

2 thoughts on “පුද්ගල ඡායාරූප ගැනීම – 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *